එන්න

ඔබගේ පාසටහන් පමණක් ඉතිරි කරන්න. ඔබ සමග ගෙනයන අන් සියල්ල ආපසු රැගෙන එන්න...

Monday, April 6, 2015

පාහියන්ගල (ෆාහියන ලෙන )



පාහියන්ගල යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ ඇති විශාල ලෙනකි. ෆා හියන් නම් චීන ජාතික භික්ෂූන් වහන්සේගේ නමින් ලෙන නම්කර ඇත. මේ අසල විහාරස්ථානයක්ද වේ. මෙම ලෙන පශ්චාත් පෙලෙස්ටොසීන මානව ඇටසැකිලි වල ශේෂයන් 1960-1980 යන කාලයන් වලදී හමුවීම හේතුවෙන් වැදගත් වේ.

ගමන් මාර්ගය 
 හොරණ මතුගම මාර්ගයේ බුලත්සිංහලින් ගල්කැටිය හන්දියට පැමිණ මේ අසිරිමත් ස්ථානය වෙත ගමන් කළ හැකි ය



මුහුදු මට්ටමේ සිට අඩි 400 කින් පමණ උසකින් සමන්විත මෙම පාහියන්ගල කඳු පර්වතය පිහිටා ඇත්තේ සබරගමු කඳු පන්තියේ රබලි කන්දට මායිම්වය. ස්වභාව සෞන්දර්යයෙන් අනූන අක්කර 80 ක පමණ වන ගහනයක් රක්‍ෂිත වනයක් බවට පරිවර්තනය වී තිබේ. පාහියන්ගල සොඳුරු වන ගහනය පාමුල සිට නයි පෙනයක හැඩගත් මෙම දැවැන්ත ලෙන තුළට යාමට ශෛලමය පියගැට හාරසිය අසූ ගණනක් පමණ තරණය කළ යුතු වෙයි. අපගේ ආදි මානව මී මුත්තාගේ තිඹිරිගෙය වන මෙම අසහාය ලෙන ලංකාවේ ඓතිහාසික දැවැන්ත ලෙන් සියල්ල අභිභවා සිටී.මෙය දඹුලු ලෙනට වඩා තුන් ගුණයක් විශාලය.


ලෙනට පිවිසෙන මඟ දෑල වසාගත් තුරු ගොමු, ලතාවෝ පිරි පසන් භූමිය අපගේ මී මුත්තණුවන් පැමිණි ගමන් මගේ බාධා පිරිපත නිවාරණය කරනා සිසිලස ද සුන්දරත්වය ද තිළිණ කරනවා වැන්න. එහෙත් ඉතා වටිනා සොයා ගැනීමක අගය වැඩි කිරිමට දෝ වසර තිස්හත්දහසක් පමණ දුරාතීතයට දිවෙන මාවත දෙපස මද අඳුර ද රජයමින් අපව කැඳවාගෙන යන්නේ දුෂ්කර ගිරි දුර්ගයක් මැදිනි.

මෙන්න ලස්සන පින්තුර 
කෞතුකාගාරය අසල 

ෆාහියන ලෙන ඇතුලේ සිට 

බිත්ති වල ඇඳි සිතුවම්  

කැණීම්වලින් හමුවූ ගල් ආයුධ 

කැණීම්වලින් හමුවූ ගල් ආයුධ


Sunday, April 5, 2015

අලුත්ගම කන්දෙ විහාර

ස්ථානය = කොළඹ ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කළුවාමෝදර හන්දියෙන් රට තුලට වන මාර්ගයේ මඳ දුරක් ගමන් කල විට කන්දෙ විහාරය හමු වෙයි..




කඳුගැටයක් උඩ තියෙන නිසා, මේ විහාරෙට ‘කන්දෙ විහාරෙ’ නම අන්වර්ථ වුණා. කන්දෙ විහාර කිට්ටු අලුත්ගම නගරයට නිසා සමහරු කියන්නේ අලුත්ගම කන්දෙ විහාරෙ කියලා.
කොළඹ පැත්ත ඉඳලා ආවොත්, බේරුවල පහුකරලා ටික දුරක් ආවාම කළුවාමෝදර පාලමින් එගොඩවෙලා, වම් පැත්තට හැරී හැතැප්මක් විතර ගියාම තමයි කන්දෙ විහාරෙ හමුවන්නේ.

කන්දෙ විහාරෙ පරිපූර්ණ පූජනීය ස්ථානයක්. ඒ නිසාම තමයි හැමදාමත් එකවගේම මේ පුදබිම සෙනඟින් පිරී තිබෙන්නේ. වන්දනා නඩ, බැතිමතුන් සමඟ විශේෂයෙන් ප්‍රාර්ථනා පුරන අය.

කන්දෙ විහාරෙ, වෙහෙර වහන්සේ, වෙනත් පන්සල්වල වෙහෙර වහන්සේලාට වඩා හරිම වෙනස් මොකද, වෙනත් වෙහෙර වහන්සේලාගේ පේසා වළලු මතුවන්නේ මළුවෙන්මයි. නමුත් කන්දෙ විහාරේ, පේසා වළලු අටපට්ටම් හැඩයේ කුටියක් මතයි ගොඩ නැගී තිබෙන්නේ.

මේ කුටිය මල් ආසනේ තියෙන කුටිය තරමටම උසයි. සැදැහැවතුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කුටිය ඇතුළේ තවත් වෙහෙර වහන්සේ කෙනෙක් සිටින බවට. ඒ වෙහෙර වහන්සේ ඉදිකරලා තියෙන්නේ පූජ්‍ය උඩුගම චන්දසාර ස්වාමීන් වහන්සේ. බුද්ධ වර්ෂ 2327 වෙසක් මාසෙ අව අටවක් බුද දින රාත්‍රි කාලයේ කියලා සටහන්ගත වී තිබෙනවා.

ඊට අවුරුදු එකසිය පනස් දෙකකට පස්සේ, පූජ්‍ය පොතුවිල සිරි සරණතිස්ස හාමුදුරුවෝ “බුද්ධ වර්ෂ 2479 නවම් පුර තෙළෙස්වක් බුද දින දවල්’’ ලෙසින් සටහන් ගත කර කුඩා වෙහෙර වටකරලා කුටියක් සාදා, එහි අලුත් චෛත්‍යය ගොඩනැගුවා.

ඉංග්‍රීසින් සිංහල රජු අල්ලා ගන්න අවුරුදු විසි අටකට උඩදී “කන්දෙ විහාරයේ තැනවූ වෙහෙර” කියල තඹ පතක් මේ චෛත්‍ය ගර්භයේ නිදන්ගතව තිබෙන බවකුත් කියැවෙනවා. 1815 දී ඉංග්‍රීසින් උඩරට රජු අල්ලා ගත්තා. එතකොට කන්දෙ විහාරය හදලා තියෙන්නේ 1787 දී.

ඝණ්ඨාකාර හැඩරුවකින් නිර්මිත කන්දෙ විහාරයේ චෛත්‍ය නෙළුම් මල් බොරදමකින් හැඩවෙනවා. හතරැස් කොටුවේ හැම කොණකින්ම පහළට වැටෙන බෝ කොළයක්ද කැටයම් වීම විශේෂිතයි.

මෙහි ‘බෝධිඝරය’ ඉදිවී ඇත්තේ බෝධීන් වහන්සේගේ වඩාත් ආරක්ෂාවට. අව් රශ්මිය දැඩිව දැනෙන දහවලකට වුණත් මෙම බෝධිඝරය ඔබට බෝධීන් වහන්සේ වන්දනාමානයට සෙවණ සලසනවා.


 ‘ධාතු මන්දිරය’ එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් ‘ශ්‍රී සුගත ධාතු ගෙය’ ධාතු කරඬුව තැන්පත් කරලා තියෙන්නේ ඇතුල්මාලේ. දෙවියන්ට සහ බුදුන්ට අලුත් සාල් පූජා කරද්දී, ඒ සහල් තැන්පත් කරන පාත්තර කිහිපය පිටමාලේ තිබෙනවා.

ඇතුල්මාලෙ බිත්තිවල තියෙන චිත්‍ර බලන්න. මහනුවර යුගයේ සිංහල බිතු සිතුවම් සම්ප්‍රදායටයි ඒව ඇඳලා තියෙන්නේ. හරිම වටිනා චිත්‍ර කිහිපයක්. පිටමාලේ වහළේ සිවිලිමෙත් චිත්‍ර තිබෙනවා. නමුත් කලාත්මක ගුණයෙන් එතරම් සරු නැහැ.



ඔබට පෙනෙනවා නේද? කන්ද විහාරයේ ලොකුම ගොඩනැගිල්ල තමයි බුදුගෙය.

විහාරගෙයි වැඩ සිටින්නේ අපේ බුදුන් වහන්සේ විතරක් නෙමෙයි. දෙවිවරුන් වැඩ වෙසෙන්නෙත් එහිම. හැබැයි ඒ එක් එක් ස්ථානයන්හි විතරයි.

මේ විහාරය ඉදිවුණේ ඕලන්ද යුගයේ නිසා විහාර ගෙය සාමාන්‍යයෙන් දේවස්ථානයක බිත්තියක් හැඩයකටයි පෙනෙන්නේ. හැබැයි ඒ මුහුණුවර තිබෙන්නේ් කන්ද විහාරයේ විතරක් නෙමෙයි. ඕලන්ද යුගයේ නිර්මිත වුණ හැම සිද්ධස්ථානයක්ම වගේ මේ ආකාරයටයි පෙනෙන්නේ.

විෂ්ණු, නාථ, ඊශ්වර සහ අනංග ආදී දෙවිවරුන් කිහිපදෙනෙකුගේ පිළිම මෙහි තිබෙනවා.

ඉතින්, ඔබ පැරැණි චිත්‍රවලට මොනතරම් ආසද? පැරැණි චිත්‍ර අධ්‍යයනය කිරීම ඔබේ සතුටක් කියන එකත් මම දන්නවා.

පිටමාලෙ සහ ඇතුල්මාලේ බිත්තිවල ඇඳ තිබෙන සිතුවම් සහ වහළයේ සිවිලිමේත්, දොර පියන්වලත් ඇඳ තිබෙන සිතුවම්වලින් ප්‍රකාශිත වෙන්නෙ පැරැණි බිතුසිතුවම්වල ප්‍රභාෂ්වරය.

කොහොම වුණත් කන්දෙ විහාරය පුරා ඇවිද සිත්සේ එහි දැවටී ඇති දහම් රසය විඳින්නට නම්, ඔබ එහි පැමිණිය යුතුම බව ඔබට දැන් අවබෝධ වන්නට ඇතැයි මම විශ්වාස කරනවා.

විජයබා කොල්ලය හා කුමරි පැන්න ගල

සංචාරයට රුචි ඔබ සැමට (විනෝද චාරිකාවකට යන්න තැනක්)

මෙතනට ළඟාවෙන්න පුලුවන් හොරණ ඉඳන් 420 බස් පාරෙ කලුතරට යන අතරමග.හොරණ මතුගම බස් එකෙනුත් ලඟා වෙන්න පුලුවන්. බස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය මුණ ගැහෙනව.ඒ හරියටම කලුතර මතුගම පාරවල් බෙදෙන්න ටිකකට කලින්.

මාර්ගය:- කොළඹ–> හොරණ –> රෙමුණ

1;50,000 සිතියමේ කියන විදියට නම් මුදුන මීටර් 150ක් වගේ උසකින් තමා පිහිටල තියෙන්නෙ.උසින් නම් එතරම් වැදගත්කමක් නැති උනාට අතීත ජනශ්‍රැති ආශ්‍රිත කතා අතින් නම් මේ පුංචි පර්වත මුදුන ඉහල වැදගත්කමක් උසුලනවා...


විජයබා කොල්ලය පොත ගැන හුඟක් දෙනා අහල ඇතිනෙ.ඒකෙ කියවෙනව වගේම ක්‍රි.ව. 1521දි විජයබා කොල්ලය සිද්ධ වෙනව.හත්වන විජයබාහු රජ්ජුරුවො යටතෙ තිබ්බ කෝට්ටෙ රාජ්‍යය කෑලි තුනකට කැඩිල යනව.මෙයින් රයිගම පාලනය බාරවෙන්නෙ රයිගම් බණ්ඩාරට.පස්සෙ කාලෙක මේ රාජ්‍ය තුන අතරත් බල අරගල ඇතිවෙනව.ඉතින් මෙහෙම ඇතිවෙන අභ්‍යන්තර යුද්ධෙකට පිටත් වෙන්න කලින් රයිගම් බණ්ඩාර රජ්ජුරුවො තම දේවින්නාන්සෙට දැනුම් දෙනව තමන් ආපහු ඒම විස්වාස නැති වීත්තිය.සටන සිද්ධ වෙන්නෙ පස්දුන් කෝරලේ.ඒ කියන්නෙ කලු ගඟෙන් එපිටහ.තමන් යුද්ධෙන් දිනුවොත් පස්දුන් කෝරලේ පර්වතයක ඉඳන් ඒ බව මේ පර්වතය මුදුනෙ ඉන්න දේවියට සහ පිරිසට දන්වන්න කතිකා කරගන්නව.කොහොමින් කොහොමින් හරි සටන අවසානයෙ රයිගම් බණ්ඩාර රජ්ජුරුවො සටන දිනනව.කතාවුනු විදියටම පස්දුන් කෝරලේ පර්වතයට නැගගන්න රජ්ජුරුවො පණිවිඩේ දන්වන්නෙ වැරදියට.ඒ තමන් සටනින් පැරදුනු බව අඟවමින්.ඔහු මෙහෙම කරන්නෙ තමන්ගෙ දේවිය සහ පිරිස තමන්ගෙ වියෝවට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල දැනගනීමේ කුහුලෙන් යුතුව.ඒත් වැඩේ බරපතලකම තේරෙන්නෙ ඔහු ආපහු තමන්ගෙ රාජ්‍යයට ආවමයි.තමන්ගෙ පණිවිඩේ ඇත්තය කියල හිතපු තමන්ගේ දේවිය මේ පර්වතයෙන් පහලට පැනල දිවිතොරකරගත් බව දැනගන්න රජ්ජුරුවො තමන් අතින් උනු වරදට නොසෑහෙන්න කම්පා වෙනව.අන්තිමේදි රජ්ජුරුවොත් මෙතනින් පැනල ජීවිතෙ නැති කරගන්න බව තමා පුරාවෘත්තයෙ කියවෙන්නෙ.ඒ නිසා මේ පර්වතය “කුමරි පැන්න ගල ” උනා කියල තමයි දැනගන්න තියෙන්නෙ.රජ්ජුරුවො පැනපු නිසා කුමරු පැන්න ගල කියලත් ව්‍යවහාරයෙ යෙදෙනවලු.පර්වතය එතරම්ම උස නොවුනත් පාරෙ වංගුව ආසන්නයෙ තියෙන අන්තය තරමක සෘජු බෑවුමකින් යුක්තයි.
පර්වතය උඩ මෑතක ඉදිවුන බුදුපිළිම වහන්සේ නමක් වගේම මල් ආසනයක් වගේම ඝණ්ටාරෙකුත් දකින්න පුලුවන්.වෙසක් පෝය කාලෙට ගමේම කට්ටිය එකතු වෙලා මේ පර්වතය සිරීපාදෙ අනුරුවක් විදියට හැඩගස්සනවලු.


මේ පර්වත මුදුනෙ තියෙනව තරමක පොකුණක්.හුඟක් වෙලාවට නියං සමයෙදිවත් දිය නොසිඳෙන මේ පොකුණ හා බැඳුනු විස්තරත් එමටයි.පර්වතය පහල ගම දිහාවට ඇවිදන් යද්දි හම්බෙන තැනක් තමා ආඳා දොල.මේ පොකුනත් ආඳා දොලත් යටින් සම්බන්ධ බව කියවෙනව.පොකුණ යට සැඟවුනු නිධානයක් ගැන හාහූත් නැතුවාම නෙවෙයි.මේක රකින්න ඉන්න රත්තරං කඩුක්කමක් දාගත්තු ආඳෙක් නිසා පල්ලෙහ දොල ආඳා දොල වුනා කියල තමයි කියන්නෙ.කෙම්මුර දවස්වලට සමහර කාලෙට මතුවෙන රන් සෙම්බුවක් පොකුනෙ ඉඳන් දොල දිහාවට ගමන් කරන බවත් කියවෙනව.මේ හා සමාන ජනශ්‍රැති අපිට හුඟක් තැන්වල අහන්න ලැබුනත් මේ වගේ පුරවෘත්තවලින් අපේ හිත්වල බය මුසු ගෞරවයක් ඒ තැන කෙරේ ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි.

මුදුනට හොරණ කලුතර පාර අපූරුවට දිස්වෙනව.එක් පසෙකින් රෙමුණ වැවත් ලස්සනට දැකගන්න පුලුවන්.මේ පුංචි කඳු මුදුනත් ලඟම තිබ්බ තවත් මුදුන් වැටියකුත් අතර තියෙන නිම්න භූමිය වැවෙන් ලැබෙන දියවරෙන් පෝෂණය වෙමින් ගොයමෙ නිල්ලෙන් වැහිලයි තියෙන්නෙ.ඒක නං හරිම සිත් අළවන සුලු දර්ශනයක්.


මෙන්න තියෙන ලස්සන තැන් කිහිපයක් 




ගමන ගැන මතක් කරනවනම් ඒ ගැන කියන්න තියෙන විශේෂම දේ තමා ගමන් යන්න තමන්ට වෙලාව මදියි කියන අයට හොඳම විසඳුමක් වෙන මේ විදිහෙ පුංචි ගමන්.කොළඹ අවට පැයක් දෙකක් ඇතුලත ලඟාවෙන්න පුලුවන් මේ වගේ තැන් බොහෝමයි.මේ වගේ තැන් පිලිබඳව හුඟ දෙනා දන්නව වුනත් මේ වගේ තැනකින් තමන් බලාපොරොත්තු වෙන දේ හොයාගන්න නොදන්නාකම තමා වැඩි දෙනාට තියෙන ප්‍රශ්නෙ.

සිතියම
 

පස්යොදුන් කෝරළය- හැදින්වීම

යොදුන් පහක දිග ප්‍රමාණයක් සහිත එලෙසම පළලින් ද යුත් පාලන ප්‍රදේශයක් ලෙසට මෙය හැඳින්වේ. යොදුනක් සාමාන්‍යයෙන් සැතපුම් සතරකි. පොළොන්නරු යුගයේ පාලන දිසාවන් බෙදීමේ දී දක්ඛිණ දිශාව නමින් ප්‍රදේශයක් විය. එහි ආරම්භය දැදුරු ඔයෙනි. මෙම දිශාවට අනුගත වුණූ කුඩා පරිපාලන ඒකකයක් ලෙසට පස්යොදුන් රට නොහොත් පංච යෝජන රට්ඨ පැවති බව මහාවංශයේ සඳහන් වේ.මෙලෙස මුල් කාලයේ දී පස් යොදුන් රට ලෙසට හැඳින්වුවද කොට්ටේ රාජධානි අවදියේ දී කෝරළ හා පත්තු වශයෙන් නැවත පරිපාලන ප්‍රදේශ බෙදීමක් සිදු වී ඇත. එහිදී රයිගම් කෝරළය පස් යොදුන් කෝරළය වලල්ලාවිටි කෝරළය සහ කලුතර තොටමුණ වශයෙන් පැරණි පස් යොදුන් රට විභේදනය වී ඇත.කලු ගංගාව එක් පසෙකින් ද අනෙක් පසෙකින් බෙන්තර ගංගාව ද සීමා වන පෙදෙස පස් යොදුන් කෝරළය ලෙසට වෙන්වුණි. ගඟ බඩ පත්තුව, ඉද්දගොඩ පත්තුව, මහපත්තුව ,සහ වලල්ලාවිටි පත්තුව යනුවෙන් පත්තු හතරකට පස් යොදුන් කෝරළය වෙන් කර ඇත. පත්තුව යනු ගම් දහයයි.