කඳුගැටයක් උඩ තියෙන නිසා, මේ විහාරෙට ‘කන්දෙ විහාරෙ’ නම අන්වර්ථ වුණා. කන්දෙ විහාර කිට්ටු අලුත්ගම නගරයට නිසා සමහරු කියන්නේ අලුත්ගම කන්දෙ විහාරෙ කියලා.
කොළඹ පැත්ත ඉඳලා ආවොත්, බේරුවල පහුකරලා ටික දුරක් ආවාම කළුවාමෝදර පාලමින් එගොඩවෙලා, වම් පැත්තට හැරී හැතැප්මක් විතර ගියාම තමයි කන්දෙ විහාරෙ හමුවන්නේ.
කන්දෙ විහාරෙ පරිපූර්ණ පූජනීය ස්ථානයක්. ඒ නිසාම තමයි හැමදාමත් එකවගේම මේ පුදබිම සෙනඟින් පිරී තිබෙන්නේ. වන්දනා නඩ, බැතිමතුන් සමඟ විශේෂයෙන් ප්‍රාර්ථනා පුරන අය.
කන්දෙ විහාරෙ, වෙහෙර වහන්සේ, වෙනත් පන්සල්වල වෙහෙර වහන්සේලාට වඩා හරිම වෙනස් මොකද, වෙනත් වෙහෙර වහන්සේලාගේ පේසා වළලු මතුවන්නේ මළුවෙන්මයි. නමුත් කන්දෙ විහාරේ, පේසා වළලු අටපට්ටම් හැඩයේ කුටියක් මතයි ගොඩ නැගී තිබෙන්නේ.
මේ කුටිය මල් ආසනේ තියෙන කුටිය තරමටම උසයි. සැදැහැවතුන්ගේ විශ්වාසයක් තියෙනවා මේ කුටිය ඇතුළේ තවත් වෙහෙර වහන්සේ කෙනෙක් සිටින බවට. ඒ වෙහෙර වහන්සේ ඉදිකරලා තියෙන්නේ පූජ්‍ය උඩුගම චන්දසාර ස්වාමීන් වහන්සේ. බුද්ධ වර්ෂ 2327 වෙසක් මාසෙ අව අටවක් බුද දින රාත්‍රි කාලයේ කියලා සටහන්ගත වී තිබෙනවා.
ඊට අවුරුදු එකසිය පනස් දෙකකට පස්සේ, පූජ්‍ය පොතුවිල සිරි සරණතිස්ස හාමුදුරුවෝ “බුද්ධ වර්ෂ 2479 නවම් පුර තෙළෙස්වක් බුද දින දවල්’’ ලෙසින් සටහන් ගත කර කුඩා වෙහෙර වටකරලා කුටියක් සාදා, එහි අලුත් චෛත්‍යය ගොඩනැගුවා.
ඉංග්‍රීසින් සිංහල රජු අල්ලා ගන්න අවුරුදු විසි අටකට උඩදී “කන්දෙ විහාරයේ තැනවූ වෙහෙර” කියල තඹ පතක් මේ චෛත්‍ය ගර්භයේ නිදන්ගතව තිබෙන බවකුත් කියැවෙනවා. 1815 දී ඉංග්‍රීසින් උඩරට රජු අල්ලා ගත්තා. එතකොට කන්දෙ විහාරය හදලා තියෙන්නේ 1787 දී.
ඝණ්ඨාකාර හැඩරුවකින් නිර්මිත කන්දෙ විහාරයේ චෛත්‍ය නෙළුම් මල් බොරදමකින් හැඩවෙනවා. හතරැස් කොටුවේ හැම කොණකින්ම පහළට වැටෙන බෝ කොළයක්ද කැටයම් වීම විශේෂිතයි.
මෙහි ‘බෝධිඝරය’ ඉදිවී ඇත්තේ බෝධීන් වහන්සේගේ වඩාත් ආරක්ෂාවට. අව් රශ්මිය දැඩිව දැනෙන දහවලකට වුණත් මෙම බෝධිඝරය ඔබට බෝධීන් වහන්සේ වන්දනාමානයට සෙවණ සලසනවා.
‘ධාතු මන්දිරය’ එහෙම නැත්නම් තවත් විදියකින් කියනවා නම් ‘ශ්‍රී සුගත ධාතු ගෙය’ ධාතු කරඬුව තැන්පත් කරලා තියෙන්නේ ඇතුල්මාලේ. දෙවියන්ට සහ බුදුන්ට අලුත් සාල් පූජා කරද්දී, ඒ සහල් තැන්පත් කරන පාත්තර කිහිපය පිටමාලේ තිබෙනවා.
ඇතුල්මාලෙ බිත්තිවල තියෙන චිත්‍ර බලන්න. මහනුවර යුගයේ සිංහල බිතු සිතුවම් සම්ප්‍රදායටයි ඒව ඇඳලා තියෙන්නේ. හරිම වටිනා චිත්‍ර කිහිපයක්. පිටමාලේ වහළේ සිවිලිමෙත් චිත්‍ර තිබෙනවා. නමුත් කලාත්මක ගුණයෙන් එතරම් සරු නැහැ.
විහාරගෙයි වැඩ සිටින්නේ අපේ බුදුන් වහන්සේ විතරක් නෙමෙයි. දෙවිවරුන් වැඩ වෙසෙන්නෙත් එහිම. හැබැයි ඒ එක් එක් ස්ථානයන්හි විතරයි.
මේ විහාරය ඉදිවුණේ ඕලන්ද යුගයේ නිසා විහාර ගෙය සාමාන්‍යයෙන් දේවස්ථානයක බිත්තියක් හැඩයකටයි පෙනෙන්නේ. හැබැයි ඒ මුහුණුවර තිබෙන්නේ් කන්ද විහාරයේ විතරක් නෙමෙයි. ඕලන්ද යුගයේ නිර්මිත වුණ හැම සිද්ධස්ථානයක්ම වගේ මේ ආකාරයටයි පෙනෙන්නේ.
විෂ්ණු, නාථ, ඊශ්වර සහ අනංග ආදී දෙවිවරුන් කිහිපදෙනෙකුගේ පිළිම මෙහි තිබෙනවා.
ඉතින්, ඔබ පැරැණි චිත්‍රවලට මොනතරම් ආසද? පැරැණි චිත්‍ර අධ්‍යයනය කිරීම ඔබේ සතුටක් කියන එකත් මම දන්නවා.
පිටමාලෙ සහ ඇතුල්මාලේ බිත්තිවල ඇඳ තිබෙන සිතුවම් සහ වහළයේ සිවිලිමේත්, දොර පියන්වලත් ඇඳ තිබෙන සිතුවම්වලින් ප්‍රකාශිත වෙන්නෙ පැරැණි බිතුසිතුවම්වල ප්‍රභාෂ්වරය.
කොහොම වුණත් කන්දෙ විහාරය පුරා ඇවිද සිත්සේ එහි දැවටී ඇති දහම් රසය විඳින්නට නම්, ඔබ එහි පැමිණිය යුතුම බව ඔබට දැන් අවබෝධ වන්නට ඇතැයි මම විශ්වාස කරනවා.
No comments:
Post a Comment