සංචාරයට රුචි ඔබ සැමට (විනෝද චාරිකාවකට යන්න තැනක්)
මෙතනට ළඟාවෙන්න පුලුවන් හොරණ ඉඳන් 420 බස් පාරෙ කලුතරට යන අතරමග.හොරණ මතුගම බස් එකෙනුත් ලඟා වෙන්න පුලුවන්. බස් පාර ආසන්නයෙම වගේ රෙමුණ හරියෙදි දකුණු පැත්තෙන් වංගුවකුත් සමගම මේ පර්වතය මුණ ගැහෙනව.ඒ හරියටම කලුතර මතුගම පාරවල් බෙදෙන්න ටිකකට කලින්.
මාර්ගය:- කොළඹ–> හොරණ –> රෙමුණ
1;50,000 සිතියමේ කියන විදියට නම් මුදුන මීටර් 150ක් වගේ උසකින් තමා පිහිටල තියෙන්නෙ.උසින් නම් එතරම් වැදගත්කමක් නැති උනාට අතීත ජනශ්‍රැති ආශ්‍රිත කතා අතින් නම් මේ පුංචි පර්වත මුදුන ඉහල වැදගත්කමක් උසුලනවා...
විජයබා කොල්ලය පොත ගැන හුඟක් දෙනා අහල ඇතිනෙ.ඒකෙ කියවෙනව වගේම ක්‍රි.ව. 1521දි විජයබා කොල්ලය සිද්ධ වෙනව.හත්වන විජයබාහු රජ්ජුරුවො යටතෙ තිබ්බ කෝට්ටෙ රාජ්‍යය කෑලි තුනකට කැඩිල යනව.මෙයින් රයිගම පාලනය බාරවෙන්නෙ රයිගම් බණ්ඩාරට.පස්සෙ කාලෙක මේ රාජ්‍ය තුන අතරත් බල අරගල ඇතිවෙනව.ඉතින් මෙහෙම ඇතිවෙන අභ්‍යන්තර යුද්ධෙකට පිටත් වෙන්න කලින් රයිගම් බණ්ඩාර රජ්ජුරුවො තම දේවින්නාන්සෙට දැනුම් දෙනව තමන් ආපහු ඒම විස්වාස නැති වීත්තිය.සටන සිද්ධ වෙන්නෙ පස්දුන් කෝරලේ.ඒ කියන්නෙ කලු ගඟෙන් එපිටහ.තමන් යුද්ධෙන් දිනුවොත් පස්දුන් කෝරලේ පර්වතයක ඉඳන් ඒ බව මේ පර්වතය මුදුනෙ ඉන්න දේවියට සහ පිරිසට දන්වන්න කතිකා කරගන්නව.කොහොමින් කොහොමින් හරි සටන අවසානයෙ රයිගම් බණ්ඩාර රජ්ජුරුවො සටන දිනනව.කතාවුනු විදියටම පස්දුන් කෝරලේ පර්වතයට නැගගන්න රජ්ජුරුවො පණිවිඩේ දන්වන්නෙ වැරදියට.ඒ තමන් සටනින් පැරදුනු බව අඟවමින්.ඔහු මෙහෙම කරන්නෙ තමන්ගෙ දේවිය සහ පිරිස තමන්ගෙ වියෝවට ප්‍රතිචාර දක්වන්නෙ කොහොමද කියල දැනගනීමේ කුහුලෙන් යුතුව.ඒත් වැඩේ බරපතලකම තේරෙන්නෙ ඔහු ආපහු තමන්ගෙ රාජ්‍යයට ආවමයි.තමන්ගෙ පණිවිඩේ ඇත්තය කියල හිතපු තමන්ගේ දේවිය මේ පර්වතයෙන් පහලට පැනල දිවිතොරකරගත් බව දැනගන්න රජ්ජුරුවො තමන් අතින් උනු වරදට නොසෑහෙන්න කම්පා වෙනව.අන්තිමේදි රජ්ජුරුවොත් මෙතනින් පැනල ජීවිතෙ නැති කරගන්න බව තමා පුරාවෘත්තයෙ කියවෙන්නෙ.ඒ නිසා මේ පර්වතය “කුමරි පැන්න ගල ” උනා කියල තමයි දැනගන්න තියෙන්නෙ.රජ්ජුරුවො පැනපු නිසා කුමරු පැන්න ගල කියලත් ව්‍යවහාරයෙ යෙදෙනවලු.පර්වතය එතරම්ම උස නොවුනත් පාරෙ වංගුව ආසන්නයෙ තියෙන අන්තය තරමක සෘජු බෑවුමකින් යුක්තයි.
පර්වතය උඩ මෑතක ඉදිවුන බුදුපිළිම වහන්සේ නමක් වගේම මල් ආසනයක් වගේම ඝණ්ටාරෙකුත් දකින්න පුලුවන්.වෙසක් පෝය කාලෙට ගමේම කට්ටිය එකතු වෙලා මේ පර්වතය සිරීපාදෙ අනුරුවක් විදියට හැඩගස්සනවලු.
මේ පර්වත මුදුනෙ තියෙනව තරමක පොකුණක්.හුඟක් වෙලාවට නියං සමයෙදිවත් දිය නොසිඳෙන මේ පොකුණ හා බැඳුනු විස්තරත් එමටයි.පර්වතය පහල ගම දිහාවට ඇවිදන් යද්දි හම්බෙන තැනක් තමා ආඳා දොල.මේ පොකුනත් ආඳා දොලත් යටින් සම්බන්ධ බව කියවෙනව.පොකුණ යට සැඟවුනු නිධානයක් ගැන හාහූත් නැතුවාම නෙවෙයි.මේක රකින්න ඉන්න රත්තරං කඩුක්කමක් දාගත්තු ආඳෙක් නිසා පල්ලෙහ දොල ආඳා දොල වුනා කියල තමයි කියන්නෙ.කෙම්මුර දවස්වලට සමහර කාලෙට මතුවෙන රන් සෙම්බුවක් පොකුනෙ ඉඳන් දොල දිහාවට ගමන් කරන බවත් කියවෙනව.මේ හා සමාන ජනශ්‍රැති අපිට හුඟක් තැන්වල අහන්න ලැබුනත් මේ වගේ පුරවෘත්තවලින් අපේ හිත්වල බය මුසු ගෞරවයක් ඒ තැන කෙරේ ඇති වෙන්නෙ නිරායාසයෙන්මයි.
මුදුනට හොරණ කලුතර පාර අපූරුවට දිස්වෙනව.එක් පසෙකින් රෙමුණ වැවත් ලස්සනට දැකගන්න පුලුවන්.මේ පුංචි කඳු මුදුනත් ලඟම තිබ්බ තවත් මුදුන් වැටියකුත් අතර තියෙන නිම්න භූමිය වැවෙන් ලැබෙන දියවරෙන් පෝෂණය වෙමින් ගොයමෙ නිල්ලෙන් වැහිලයි තියෙන්නෙ.ඒක නං හරිම සිත් අළවන සුලු දර්ශනයක්.
ගමන ගැන මතක් කරනවනම් ඒ ගැන කියන්න තියෙන විශේෂම දේ තමා ගමන් යන්න තමන්ට වෙලාව මදියි කියන අයට හොඳම විසඳුමක් වෙන මේ විදිහෙ පුංචි ගමන්.කොළඹ අවට පැයක් දෙකක් ඇතුලත ලඟාවෙන්න පුලුවන් මේ වගේ තැන් බොහෝමයි.මේ වගේ තැන් පිලිබඳව හුඟ දෙනා දන්නව වුනත් මේ වගේ තැනකින් තමන් බලාපොරොත්තු වෙන දේ හොයාගන්න නොදන්නාකම තමා වැඩි දෙනාට තියෙන ප්‍රශ්නෙ.
No comments:
Post a Comment